මුත්‍රාශයේ ගල් ඇතිවීම වලක්වා ගමු

පමණට වැඩිය වතුර බිව්වොත් මුත්‍රාශයේ ගල්

අද අප ‘සුවමඟ’ විශේෂාංගයෙන් තොරතුරු විමසා බලන්නේ මෞත්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රතව ඇතිවන රෝගාබාධ පිළිබඳවයි. මෞත්‍ර ලිංගික පද්ධතියට වකුගඩු, මුත්‍රාශය, මුත්‍ර මාර්ගය වැනි කොටස් ගණනාවක්ම අයත් වෙනවා. මේ පිළිබඳව තොරතුරු විමසා බැලීමට අප හමු වුණේ, කොළඹ ජාතික රෝහලේ මෞත්‍ර ලිංගික රෝගාබාධ පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නෙවිල් ඩී. පෙරේරා මහතායි.


වෛද්‍යතුමනි මෞත්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රතව බහුලව ඇතිවන රෝගාබාධ මොනවා ද?

හඳුනා ගැනීමේ පහසුවට මෙම රෝගාබාධ ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවනි. එකක් වෛද්‍යමය රෝග අනෙක ශල්‍යමය රෝග. වෛද්‍යමය රෝග ලෙස හැඳින්වෙන්නේ ඖෂධ භාවිතයෙන් සුවකළ හැකි රෝග. ශල්‍යමය රෝග සුව කිරීමට ශල්‍යකර්ම අවශ්‍ය වෙනවා. වෛද්‍යමය රෝග අතරට වකුගඩු අකර්මණ්‍ය වීම (ක්‍රියා විරහිත වීම,) අයත් වෙනවා.


මෙයත් හදිසියේ ඇතිවන වකුගඩු අකර්මණ්‍යතාව සහ දීර්ඝකාලීනව සිදුවන වකුගඩු අකර්මණ්‍යතාව ලෙස කොටස් දෙකයි. දීර්ඝකාලීනව සිදුවන වකුගඩු අකර්මණ්‍යතාවයට හේතු වන්නේ දියවැඩියාව සහ අධි රුධිර පීඩනය යන රෝගාබාධ නිවැරැදි ලෙස පාලනය නොකිරීමයි. ඊට අමතරව මුත්‍රාශය ආශි‍්‍රතව ඇතිවන ආසාදන නොසලකා හැරීම ද හේතුවක්.


හදිසි වකුගඩු අකර්මණ්‍යතාවයට බොහෝවිට හේතු වන්නේ යම් යම් ඖෂධ විෂ වීම, විෂ ශරීරගත වීම, නයි විෂ පොලොන් විෂ ආදිය ශරීර ගත වීම ආහාර විෂ වීම වැනි කරුණුයි.


අනුරාධපුරය ආශි‍්‍රත ප්‍රදේශයේ පැතිර යන වකුගඩු අකර්මණ්‍යතාවයට හේතු තවමත් නිවැරැදි ලෙස හඳුනාගෙන නැහැ. මෙවැනි හදිසි වකුගඩු අකර්මණ්‍යතාවයන් එකක්වත් ශල්‍යකර්ම මඟින් සුවකළ නොහැකියි. එහිදී කළ යුත්තේ ඖෂධීය ප්‍රතිකාර කිරීමයි. එසේ සුව නොවුවහොත් කළ යුත්තේ රුධිරය පිරිසිදු කරන යන්ත්‍රයක් මඟින් රුධිරය පිරිසිදු කිරීමයි.


වකුගඩු ආශි‍්‍රතව සිදු කෙරෙන ශල්‍යකර්ම වලින් බහුලවම කෙරෙන්නේ වකුගඩුවේ ඇතිවන ගල් ඉවත් කිරීමයි. මුත්‍රාශයේ හෝ වකුගඩුවල ඇතිවන ගල් නිර්මාණය වන්නේ එම ඉන්ද්‍රියන් තුළමයි. එම ගල් නිර්මාණය වීමට බෙහෙවින් හේතු වන්නේ කැල්සියම් ඔක්සලේට් නම් රසායනික ද්‍රව්‍යයයි. ඊට අමතරව කැල්සියම් කාබනේට්, යුරික් ඇසිඩ් ආදිය නිසා ද වකුගඩු මුත්‍රාශය ආශි‍්‍රතව ගල් නිර්මාණය වෙනවා.


කැල්සියම් ඔක්සලේට් වලින් ගල් නිර්මාණය වීමට හේතු කීපයක්ම බලපාන බව පෙනී යනවා. ප්‍රධාන හේතුව ශරීරයේ ඇතිවන විජලනයයි. සාමාන්‍යයෙන් කැල්සියම් ඔක්සලේට් ස්ථටික මුත්‍රාවල තිබෙනවා. ශරීරයට ලැබෙන ජලය ප්‍රමාණය අඩු වුවහොත් ශරීරය වියළි මෙම ස්ථටික වකුගඩුවල තැන්පත් වෙනවා. ශරීරයෙන් හොඳින් මුත්‍රා පිට නොවීමට, මුත්‍රාශයේ සහ වකුගඩුවල ගල් නිර්මාණය වීම ප්‍රධාන හේතුවක්. මෙම ගල් නිර්මාණය වන්නේ කුඩා ස්ථටිකයකින්.


මෙම ස්ථටික මුත්‍රා සමඟ පිට වූවොත් ගල් නිර්මාණය වන්නේ නෑ. යම් හේතුවකින් (වකුගඩු තුළ නාල අවහිර වීමක් වැනි) මෙම ස්ථටිකය වකුගඩුව ඇතුළේ තැන්පත් වුවහොත් එය වර්ධනය වීමට පටන් ගන්නවා. ඊට අමතරව කැල්සියම් ස්ථටික නිර්මාණය කරන රෝගයක් ඇතැමුන් තුළ තිබෙනවා. මෙය ඉතා කලාතුරකින් දක්නට ලැබෙන රෝගයක්.


ඇතැමුන්ගේ ශරීරයේ කැල්සියම් ඔක්සලේට් ප්‍රමාණය වැඩිවන අවස්ථාත් තිබෙනවා. ඒවා සාමාන්‍ය තත්ත්වයන් නොවේ. මෙම සිදුවීම්වලට ශරීරය තුළ සිදුවන යම් යම් ක්‍රියාකාරකම් හේතු වෙනවා. ඇතැමුන් අතර මතයක් පවතිනවා ඉහත රෝගවලට ප්‍රතිකාර කරන අතරතුර කිරි, හාල්මැස්සන් වැනි කැල්සියම් අඩංගු ආහාර නොගත යුතු බව මෙය වැරැදි මතයක්.

කොළඹ ජාතික රෝහලේ මෞත්‍ර ලිංගික රෝගාබාධ පිළිබඳ විශේෂඥ ශල්‍යවෛද්‍ය මහාචාර්ය නෙවිල් ඩී. පෙරේරා

මෞත්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රතව ඇතිවන ගල් පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ ඇයි?

ප්‍රධාන වශයෙන්ම මෙහිදී ඇතිවන වේදනාව නිසා. එය දැඩි වේදනාවක්. වකුගඩුවල නිර්මාණය වූ ගල වකුගඩුවේ සිට මුත්‍රාවාහිනී ඔස්සේ එළියට පැමිණෙන විට ඇතිවන්නේ විශාල වේදනාවක්. ඇතැමුන්ගේ මතය වන්නේ එම වේදනාව දෙවැනි වන්නේ කාන්තාවකට දරු ප්‍රසූතයේදී ඇතිවන වේදනාවට පමණක් බවයි. එම වේදනාව ඉඟටිය ප්‍රදේශයෙන් ඇරැඹී ගල ගමන් කිරීමත් සමඟම මුත්‍රාශය දෙසට ගමන් කරනවා.


ගල පහළට ඒමේදී මුත්‍ර මාර්ගයේ සිරීමක් සිදු විය හැකියි. එවිට මුත්‍රා සමග රුධිරය ගමන් කිරීමට ඉඩ තිබෙනවා. දෙපස ඇති වකුගඩු දෙකෙහිම ගල් තිබේ නම්, වකුගඩු නාල දෙකම සිරවී හදිසි වකුගඩු අකර්මණ්‍යතාවයක් ඇතිවීමටත් හැකියාව තිබෙනවා. වකුගඩුවෙත් මුත්‍රාශයට එන නාලවල දීර්ඝ කාලයක් ගල් කැබැල්ලක් සිරවී තිබීම වකුගඩු අකර්මන්‍ය වීමට ප්‍රධාන හේතුවක්. ඒ නිසයි, අපි වකුගඩුවල සහ මුත්‍රාශයේ ගල් පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ.


මෙම ගල් ඉවත් කිරීමට ඇති ප්‍රතිකාර මොනවා ද?

මුත්‍රාශයේ ගල් දියකර හැරීමට බටහිර වෛද්‍යවිද්‍යාවේ මෙතෙක් ඖෂධයක් සොයා ගෙන නෑ. එසේ වුවත් ගල් මුත්‍රාශයෙන් ඉවත් කිරීමේ හැකියාව තිබෙනවා. එහිදී දෙනු ලබන ඖෂධ මගින් කෙරෙන්නේ මුත්‍රා නාල විශාල කොට ගල පිටතට යාමට සැලැස්වීමයි. එසේ වුවත් වකුගඩු වල ඇති ගලක් ඉවත් කිරීමට ඖෂධ නෑ. එහෙත් විශාල කැපුමක් නොකොට මුත්‍රා මාර්ගය දිගේ නවීන උපකරණ වකුගඩුව වෙතට යවා වකුගඩුවේ ඇති කුඩා ගල් කැබලි කර ශරීරයෙන් ඉවත් කිරීමේ හැකියාව තිබෙනවා.


මෙම නවීන ශල්‍යකර්ම ක්‍රමවලදී ශරීරයේ කැපීමක් සිදු කළ යුතු වන්නේ නෑ. එසේ ඉවතට ගත නොහැකි තරමක් විශාල ගල් ඉවත් කිරීමට ඉඟටිය ප්‍රදේශයේ කුඩා සිදුරක් ඇති කොට එම සිඳුරෙන් නවීන ශල්‍ය උපකරණ යවා ගල ඉවත් කළ හැකියි. ඒ නිසා මෙම ශල්‍යකර්ම වලට අද බිය විය යුතු නෑ.


මුත්‍රා දැවිල්ල ඇතිවන්නේ ඇයි?

මුත්‍රා දැවිල්ල ඇතිවීමට හේතු කීපයක්ම තිබෙනවා. ප්‍රධානම හේතුව වන්නේ මුත්‍රා මාර්ගයේ ඇතිවන ආසාදන තත්ත්වයයි. මුත්‍රා මාර්ගයේ ආසාදනයක් ඇතිවූ විට එහි මුත්‍රා ගෑවෙන ගෑවෙන වාරයක් පාසා තුවාලයක් පෑරෙන්නාක් මෙන් එම ආසාදන තත්ත්වය උත්සන්න වෙනවා. ඊට අමතරව වැඩිහිටි පුද්ගලයින්ගේ සහ කාන්තාවන්ගේ මුත්‍රා දැවිල්ල ඇතිවීමට බලපාන තවත් කරුණක් තිබෙනවා.


ඒ මුත්‍රාවල ඇසිඩ් ප්‍රමාණය අධික වීමයි. එවිට මුත්‍රා මාර්ගයේ කිසිඳු ආබාධයක් නැති වුවත් අධික දැවිල්ලක් ඇතිවීමට පටන් ගන්නවා. නිතර නිතර සහ දීර්ඝ කාලයක් මුත්‍රා දැවිල්ල තිබීම පරීක්ෂා කළ යුතුයි. එහිදී මුත්‍රා මාර්ගයේ කිසියම් අවහිරතාවයක් ඇතිදැයි සොයා බැලිය යුතුයි. අවහිරතාවයක් නොමැති නම් මුත්‍රාවල ඇසිඩ් ප්‍රමාණය අඩු කිරීමට ඖෂධ ලබාදිය යුතුයි. පිරිමින්ට වඩා කාන්තාවන් මුත්‍රා ආසාදනවලට ලක්වෙනවා වැඩියි.


එයට හේතුව වන්නේ කාන්තාවන්ගේ මුත්‍රා මාර්ගය කෙටි නිසා පහසුවෙන් විෂබීජ මුත්‍රා මාර්ගය තුළට ගමන් කළ හැකි වීමයි. එසේම විවාහ වූ අලුත කාන්තාවන්ගේ මුත්‍රා ආසාදන ඇතිවීමේ හැකියාවක් තිබෙනවා. එය සාමාන්‍ය තත්ත්වයක්.


මුත්‍රා කිරීමේදී රුධිරය පිටවීමක් සිදු වූවොත්?

ශරීරයේ ඕනෑම සිදුරකින් රුධිරය පිටවීමක් සිදුවුවහොත් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. මුත්‍රා මාර්ගයත් එසේමයි. විශේෂයෙන්ම වයස අවුරුදු 45 ට වැඩි පුද්ගලයින්ගේ මුත්‍රා සමඟ රුධිරය පිටවීමක් සිදු වුවහොත්, මෞත්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රතව පිළිකාවක් නැතැයි කියා තහවුරු කරගන්නා තෙක් සැලකිල්ලෙන් ඒ පිළිබඳව පරීක්ෂණ සිදුකළ යුතුයි.


වේදනාවක් ඇතිව හෝ නැතිව මුත්‍රා ඉතා තද පැහැයෙන් පිටවීම වෛද්‍යවරයකු හමුවීමට හේතුවක්. පිළිකා ඇතිවන්නේ බොහෝ කලාතුරකින්. එහෙත් මුත්‍රා සමඟ රුධිරය පිටවීම ඉතා සැලකිලිමත් විය යුතු තත්ත්වයක්.


පුරුෂයින්ගේ පුරස්ථ ග්‍රන්ථිය ආශි‍්‍රතව ඇතිවන ආබාධ මොනවා ද?

පුරස්ථ ග්‍රන්ථිය ලෙස හැඳින්වෙන්නේ පුරුෂයින්ගේ මෞත්‍ර ලිංගික පද්ධතියට අයත්, ශුක්‍රානු නිපදවන ග්‍රන්ථියයි. මෙම ග්‍රන්ථිය පිහිටා තිබෙන්නේ මුත්‍රාශයට පහළින්. මුත්‍රා ගමන් කරන මුත්‍ර නාලය ගමන් කරන්නේ මෙම ග්‍රන්ථිය මැද්දෙන්. කිසිඳු හේතුවක් නොමැතිව වයස අවුරුදු 45, 50 ඉක්මවූ පුරුෂයින්ගේ පුරස්ථ ග්‍රන්ථියේ පටක වැඩී ඉදිමීමට පටන් ගන්නවා. මෙම ග්‍රන්ථිය මැදින් මුත්‍රා මාර්ගය ගමන් කරන නිසා පුරස්ථ ග්‍රන්ථිය ඉදිමී පටක ඉදිමීමේ හේතුවෙන් මුත්‍රා නාලයේ සිරවීමක් ඇති වෙනවා.


එහි ප්‍රතිඵලය වන්නේ මුත්‍රා කිරීමට අපහසු වීමයි. මුත්‍රා සෙමෙන් යාම, කඩින්කඩ යාම, බිංදු ලෙස යාම දිනකට දහදොළොස් පාරකට වඩා මුත්‍රා පිට කිරීමට සිදුවීම, මුත්‍රා පහර ඉදිරියට විදීමේ අපහසුව වැනි රෝග ලක්ෂණ මෙහිදී මතු වෙනවා. වයසත් සමඟ ඇතිවන මෙම රෝගයට අමතරව ඉතාම සුළු පිරිසකට පුරස්ථ ග්‍රන්ථියේ පිළිකාවන් නිසා ද ඉහත රෝග ලක්ෂණ මතුවීමේ හැකියාව තිබෙනවා. රුධිර පරීක්ෂාවකින් සහ වෙනත් පරීක්ෂණ කීපයකින් මෙම තත්ත්වය ඉතා පහසුවෙන් හඳුනාගත හැකියි.


රාත්‍රීයේදී කීප වරක් මුත්‍රා කිරීමට අවශ්‍ය වීම රෝග ලක්ෂණයක් ද?

පුරස්ථ ග්‍රන්ථියේ ආබාධ වැනි රෝගාබාධ ඇතිවිට මුත්‍රාශය හිස් කිරීමේ හැකියාව දුර්වල වෙනවා. යම් කිසිවෙක් රාත්‍රී නින්දට පෙර මුත්‍රාශය සම්පූර්ණයෙන්ම හිස් කොට නින්දට යන්නේ නම් රාත්‍රීයේ අවදි වී මුත්‍රා පිට කිරීමක් අවශ්‍ය වන්නේ නෑ. එහෙත් එක් වරක් පමණ අවදි වී මුත්‍රා පිට කිරීමට සිදුවීම රෝගයක් ලෙස සැලකිය නොහැකියි. එසේ නොමැතිව රාත්‍රීයේදී කීප වරක් මුත්‍රා පිට කිරීමට සිදුවීම රෝග ලක්ෂණයක්.


නිරෝගී පුද්ගලයකුගේ ශරීරයේ රාත්‍රීයේදී මුත්‍රා නිපදවෙන්නේ අඩුවෙන්. එහෙත් දියවැඩියාව, හෘද රෝග වැනි ආබාධයන්ගෙන් පෙළෙන්නන්ගේ ශරීරය තුළ රාත්‍රීයේදී අධික ලෙස මුත්‍රා නිපදවෙනවා. එයත් එක් හේතුවක්. එසේම හෘද රෝග වැනි ආබාධ වලට ගනු ලබන ඖෂධ මුත්‍රා නිපදවීම වැඩි කරන නිසා ද රාත්‍රීයේදී වැඩි වාර ගණනක් මුත්‍රා කිරීමට සිදු වෙනවා.


මුත්‍රා ආසාදනවලින් තොර ජීවිතයක් ගත කිරීමට නම් අප කුමක් කළ යුතු ද?

අවශ්‍ය පමණට ජලය පානය කිරීම ඉතාම වැදගත්. සාමාන්‍යයෙන් වැඩිහිටියකු දිනකට ලීටර් 2 ත් 2 1/2 ත් අතර ජලය පානය කළ යුතුයි. ඇතැමුන් දිනකට ලීටර් 4 ක් 5 ක් පමණ පානය කිරීමට පුරුදු වී සිටිනවා. එය සුදුසු ක්‍රියාවක් නොවේ.


මෑතදී කරන ලද පර්යේෂණවලදී ඉතා වැදගත් කරුණක් තහවුරු වී තිබෙනවා. ඒ; දිනකට ජලය ලීටර් 3 කට වැඩියෙන් පානය කිරීම වකුගඩු, මුත්‍රාශය ආශි‍්‍රතව ගල් නිර්මාණය වීමට හේතුවන බවයි. මුත්‍රාවල තිබෙනවා ගල් සෑදීම වළක්වන රසායනිකයක්. අවශ්‍ය පමණට වැඩියෙන් ජලය පානය කිරීමෙන් මෙම රසායනිකය තනුක වී ගල් නිපදවීමේ ප්‍රවණතාව වැඩි වෙනවා. ඒ නිසා වැඩිහිටියකු දිනකට ලීටර් 3 කට වැඩියෙන් ජලය පානය සුදුසු නෑ. ළමයකු ලීටර් 1 ක් 1 1/2 ක් අතර ප්‍රමාණයක් පානය කිරීම ප්‍රමාණවත්.


මෙහිදී සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක් තිබෙනවා. ඒ; ඕනෑම අයකු තමන්ට මුත්‍රා කිරීමේ අවශ්‍යතාව ඇතිවූ විට මුත්‍රා පහකළ යුතුමයි. එසේ නොමැතිව මුත්‍රාශයේ මුත්‍රා තද කරගෙන සිටීම ඉතා අනුවන ක්‍රියාවක්.


බොහෝ වේලාවක් මුත්‍රාශය පිරී තිබීමෙන් මුත්‍රා බොක්කේ බිත්තිවල ඇදීමක් සිදු වෙනවා. පේෂි දුර්වල වෙනවා. එවිට පසුකාලීනව මුත්‍රා පහ කිරීමේ අපහසුතාව ඇති වෙනවා. මෙම තත්ත්වය කාන්තාවන් අතර ඉතා බහුලයි. අඩු තරමින් පැය 4 කට හෝ 5 කට වරක් මුත්‍රා පිට කිරීම වැදගත්. විශේෂයෙන්ම නිතර මුත්‍රා ආසාදනවලට මුහුණ දෙන කාන්තාවන් මෙය සිහි තබා ගැනීම වැදගත්.

0 comments: